History

කලවාන ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ඉතිහාසය

වර්ෂ 1910 දී පමණ වෙදකම සඳහා මාතර ප්‍රදේශයෙන් පොල්ගහවෙල ප්‍රදේශයට ස්වාමීන්වහන්සේනමක් වැඩම කර ඇත. උන්වහන්සේ නමින් නාකුළුගමුවේ චන්ද්‍රානන්ද ස්වාමීන්වහන්සේ නම් විය. චතුර ධර්මදේශකයන් වහන්සේනමක් වූ චන්ද්‍රානන්ද ස්වාමීන්වහන්සේ වැල්ලව නම් ප්‍රදේශයේදී පැවැත්වූ ධර්මදේශනයක් ශ්‍රවණය කරන්නට කලවාන ප්‍රදේශයෙන් සහභාගී වූ පිරිස ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් පැහැදී තම ප්‍රදේශයේ විහාරස්ථානයක් ආරම්භ කිරීම සඳහා ස්වාමීන්වහන්සේට ආරාධනා කළහ.
එහි ප්‍රතිලයක් ලෙස මැටිකුඹුර මංසන්ධිය සමීපයේ හොඳැල්ලේ පුද්ගලයෙකුට අයත් භූමියක කලවාන ශ්‍රී සුගතාරාම විහාරස්ථානය 1910 දී ආරම්භ විය. පසුව එම භූමිය අයත් පිරිසගේ විරුද්ධත්වය නිසාම නාකුළුගමුවේ චන්ද්‍රානන්ද ස්වාමීන්වහන්සේගේ මඟ පෙන්වීම මත උන්වහන්සේගේ ශිෂ්‍ය කලවානේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේගේ පවුලේ ඉඩමක විහාරස්ථානය ආරම්භ විය. පසුව නාකුළුගමුවේ චන්ද්‍රානන්ද ස්වාමීන්වහන්සේ මාතර ප්‍රදේශයට වැඩමකිරීමෙන් පසුව කලවානේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ප්‍රදේශවාසීන්ගේ ආගමික පසුබිම නගා සිටුවීම සඳහාත්, සදාචාර වර්නධය ඇතිකරලීම සඳහාත් විහාරස්ථානය මුලික කරගෙන කටයුතු සිදුවිය.
විහාරස්ථානය මුල්කරගෙන කලවාන ග්‍රාමයේ ප්‍රදේශවාසී ලොකු කුඩා සියලු දෙනාගේ ප්‍රයෝජනය සඳහා රාත්‍රී ඉංග්‍රීසි පන්තියක් පවත්වාගෙන යාමත්, 2010 ඔක්තෝම්බර් මසදී දහම් පාසලක් ආරම්භ කිරීමත් සිදු කර ඇත. එකල එසේම කතෝලික දහම පැතිර තිබු යුගයක බොහොමයක් පාසල් කතෝලික පාලන ක්‍රමයක් පැවති යුගයක හොඳැල්ල පාසල බෞද්ධ පාසලක් වශයෙන් පවත්වාගෙන යන්නට ශ්‍රී සුගතාරම විහාරස්ථානය හා කලවානේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේ මූලිකව ක්‍රියා කළහ.
විහාරස්ථානය මුල් කරගෙන මිහිඳු පෙරහැර පැවැත්වීමෙන් සංස්කෘතික අංශයෙන් වර්නධය කරලීම සඳහාද කටයුතු සිදුකර ඇත. සෑම පොහොය දිනකම මල් පූජාමය පිංකම් සංවිධානය කොට දායක දායිකාවන්ට එම පිංකම් භාරදී දර්ශනීය වූ මල් පෙරහැර, වැඩිපුරම විහාරස්ථානයට පැමිණීම යහපත් හැසිරීම් ආදී අංශයන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම ප්‍රදේශවාසීන් තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරලන්නට සුගතාරාම විහාරස්ථානය මුල් විය.
2000 වසරේදී කලවානේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව මෙම විහාරස්ථානයේ අධිපතීත්වයට පත් වූ පූජ්‍ය අක්මීමන නාගිත ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ පැවිදි සහෝදර ශ්‍රාස්ත්‍රවේදී කන්තලේ භාරත හිමියන්ට මෙම ශ්‍රී සුගතාරාම විහාරස්ථානය පවරන ලදී.
2005 වසරේදී ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත් පූජ්‍ය කන්තලේ භාරත ස්වාමීන්වහන්සේ විහාරස්ථ දායක පින්වතුන්ගේ ආධාර උපකාර ඇතිව විහාර සංවර්ධන කටයුතු සිදු කරමින් නව සංඝාවාසය, ධර්මශාලාව, බෝධි ප්‍රකාර සහිත රන් වැට බෝධීන්වහන්සේ අභියස ඉදිකරන ලද බුද්ධ මන්දිරය ආදිය ඉදිකරන ලද අතර විහාරස්ථානයට අඩුපාඩුවක්ව ඇති චෛත්‍ය ඉදිකිරීමේ කටයුතුද එංගලන්තයේ පදිංචි ආචාර්ය එස්. එම්. විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.